රුධිර සීනි වලට තදින්ම බලපාන “ග්ලයිසීමික් අගය” කියන්නෙ මොකද්ද?

සමහරවිට ඔයා මේක කියවන අතරෙම  රසම රස ෆෘට් සැලඩ් එකක් රස විඳිනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් චොක්ලට් වෑහෙන කේක් කෑල්ලක රස බලනවා වෙන්නත් පුළුවන්. මේ මොන විදියෙ කෑමක් ගත්තත් ඒ කෑමවල තියෙන කාබොහයිඩ්‍රේට් ග්ලූකෝස් වලට හැරිල ඔයාගෙ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි කරනවා.

ඉතින් මේ විදියට ඔයා ගන්න එක එක ආහාරයට අනුව ඔයාගෙ ලේ වල සීනි මට්ටම වැඩිවෙන විදිය දැනගන්න ඔයාට පුළුවන් නම් කොච්චර දෙයක් ද? නේද??

ඔව්.ඔයාට අනිවාරෙන්ම ඒක දැනගන්න පුළුවන්.

ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක,එහෙමත් නැත්තම් ජී.අයි. එක පාවිච්චි කරලා ඒක ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

සෞඛ්‍ය සම්පන්න කාබොහයිඩ්‍රේට, තවත් තේරෙන විදියට කිව්වොත් මේ ජී.අයි. එක අඩුවෙන් තියෙන කාබොහයිඩ්‍රේට දිරවන එකයි, අවශෝෂණය වෙන එකයි වෙන්නෙ බොහොම හෙමීට. ඒ හින්දම මේ ආහාර වලින් ඔයාගෙ ලේවල සීනි මට්ටම වැඩිවෙන්නෙ හෙමිහිට සහ ස්ථාවර විදියට. මේකෙම අනෙක් පැත්ත තමයි සෞඛ්‍ය සම්පන්න නැති කාබොහයිඩ්‍රේට්, එහෙමත් නැත්තම් ජී.අයි. එක වැඩියෙන් තියෙන කාබොහයිඩ්‍රේට් ගත්තොත් සිද්ධවෙන්නෙ. මේ කෑම වර්ග ගොඩක් ඉක්මනට දිරවනවා වගේම ඔයාගෙ ලේ වල සීනි මට්ටම මාරම ඉක්මනට ලොකු ප්‍රමාණෙකින් වැඩි කරවනවා.

ඉතිං..

ඔයා හැමවෙලේම කන්නෙ ජී.අයි. එක වැඩි කාබොහයොඩ්‍රේට් නම් මොකද වෙන්නෙ? ඒව මෙච්චර ඔයාගෙ ඇඟට අහිතකර වෙන්නෙ ඇයි? බලාගෙන ඉන්දැද්දි ඔයාගෙ ඇඟේ බර වැඩි කරන්න තරම් ඒවයෙ තියෙන අවුල මොකක්ද?

ජී.අයි. එක වැඩි කාබොහයිඩ්‍රේට හින්දා ලේ වල සීනි මට්ටම රොකට් එකක් උඩ යනව තරම් වේගයෙන් ඉහල නගිනව කියල අපි කලින් කිව්වනෙ. ඒත් එක්කම මේ ඉහල යන සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින් නිකුත් වෙන එකත් වැඩි වෙනවා. මේ වැඩිපුර එන ඉන්සියුලින් වලින් සෛල වලට ග්ලූකෝස් ලබාදීල ශක්තිය නිපදවන වේගයත් වැඩි කරවනවා. සීනි තියෙන කෑමක් කාලා ටික වෙලාවකට පස්සෙ ඇඟට අමුතු ශක්තියක් එනව වගේ අපිට දැනෙන්නෙ මේ හින්දා. කොහොමහරි මේ විදියට ඉන්සියුලින් වල බලපෑමෙන් ග්ලූකෝස් වැයවෙන එක වැඩිපුර සිද්ධවෙන හින්ද,ලේ වල සීනි මට්ටමේ පුදුමාකාර අඩුවීමක් එකපාරටම සිද්ධවෙනවා. මේ තත්වයේ ප්‍රතිඵලයක් විදියට ඔයාට ආයෙමත් බඩගින්න දැනෙන්න පටන්ගන්නවා. ලොකුවට වැඩක් පලක් නොකර වුණත් ඇඟට මහන්සියි වගේ දැනෙන්න ගන්නවා. ඒ හින්දා ආයෙමත් මොනාහරි කන්නම හිතෙනවා.

මතක තියාගන්න..ඔයාට කේක් වගේ පැණිරස කෑම එහෙමත් නැත්තම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ දේවල් කෑවම බඩ පිරිලා වගේ ලොකු ශක්තියක් දැනෙනව නේද?

හැබැයි මේ ප්‍රබෝධය තියෙන්නෙ බොහොම පොඩි වෙලාවක් යනකල් විතරයි. එහෙ බලල මෙහෙ බලනකොට ඔයාට ආයෙමත් යකෙක් කන සයිස් එකේ බඩගින්නක් දැනෙන්න ගන්නවා. මේ විදියට කනවා බඩගිනි වෙනවා,කනවා බඩගිනි වෙනවා කියන එක රවුමට සිද්ධවෙනකොට දන්නෙම නැතුව ඔයාගෙ බරයි ඇගේ සයිස් එකයි වැඩිවෙන්න ගන්නවා.

මේ කිව්ව දේ සිද්ධවෙන හැටි අපි මේ පහලින් පෙන්නල තියෙන ක්‍රේවිං ඇන්ඩ් ස්නැකිං සර්කල් එකෙන් බලාගන්න පුළුවන්.

මේ සර්කල් එක ඔය පෙන්නල තියෙන හැටියට කඳු පල්ලම් වලින් පිරිච්ච එකක් වුණාම, ඒ කියන්නෙ බ්ලඩ් සුගර් ලෙවල් එකේ ලොකු ලොකු උස්පහත්වීම් පෙන්නුම් කරන එකක් වුණාම ඔයාගෙ පරිවෘත්තිය ක්‍රියාවලිය සෞඛ්‍ය සම්පන්න එකක්  කරගන්න පොඩ්ඩක්වත් ලේසි වෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් ඔයාගෙ ක්‍රේවිං ඇන්ඩ් ස්නැකිං සර්කල් එක මේ වගේ නම් ඔයාගෙ පරිවෘත්තිය තියෙන්නෙ මාරම අනතුරුදායක තැනක.

ජී.අයි. අඩු කෑම කන එකේ තියෙන ලොකුම වාසියක් තමයි ඔයාට සැරින් සැරේ එක එක ජාතියෙ කෑම කන්න හිතෙන්නෙ නැති එක.ඒකෙන් ඔයාගෙ ලේ වල සීනි මට්ටම පෙන්නුම් කරන චාට් එකේ හිමාල කඳු වගේ ඉහල නැඟීම් ඇතිවෙන එක නතර වෙනවා. ඒ හින්දම මේද තැන්පත්වීම සහ බරවැඩිවෙන එක වෙන්නෙ දීර්ඝකාලීනව වගේම ක්‍රමානුකූල විදියට. අඩු කාබොහයිඩ්‍රේට් තියෙන කෑම කොච්චර ප්‍රතිඵලදායකද කියන්න මේක හොඳ උදාහරණයක්.

ජී.අයි. වැඩිපුර තියෙන කාබොහයිඩ්‍රේට වලින් ඈත්වෙන්න තවත් හේතුවක් තමයි නිරන්තරයෙන් වැඩි වෙන රුධිර සීනි මට්ටම් හින්දා ඇඟේ ග්ලූකෝස් ගබඩා කරල තියාගන්න ඔයාගෙ සිරුර පෙළඹෙන එක. ඔයාගෙ බාහු, උකුල, කලවා වගේම බඩ වටේටත් ෆැට් එක විදියට අතිරේක ග්ලූකෝස් ගබඩා කරල තියාගන්න සිරුර පෙළඹෙනවා. හැබැයි අඩු ජී.අයි. කාබොහයිඩ්‍රේට්වල දිරවීම හෙමින් සිද්ධවෙන අතරෙ ඔයාගෙ සිරුරට ග්ලූකෝස් නිදහස් කරන්නෙත් හෙමිහිට නිසා, තැන්පත්කරල තියාගන්නව වෙනුවට ග්ලූකෝස් ශක්තිය විදියට වැය කරන්න ඔයාගෙ සිරුර පෙළඹෙනවා.

කාබොහයිඩ්‍රේට් කියන්නේ අපේ සිරුරට අත්‍යවශ්‍ය වෙන ප්‍රධානම මහාපෝෂක තුනෙනුත් ප්‍රධානම එක වගේම, ඕනෙම සමබල ආහාර වේලක වැදගත්ම අංගයක් කියන එක කොයිම වෙලාවකවත් අමතක කරන්න එපා. ඒත් අපි මෙච්චරවෙලා කිව්ව වගේ, හැම කාබොහයිඩ්‍රේට් එකම එක වගේ නැහැ. ඒ හින්දා ඔයාගෙ කෑම වේලෙ අන්තර්ගත වෙන කාබොහයිඩ්‍රේට් වර්ගය සෞඛ්‍ය සම්පන්න, ජී.අයි. අඩු එකක් කියන එක හැමවෙලේම ටක්කෙටම තහවුරු කරගන්න!

3 thoughts on “රුධිර සීනි වලට තදින්ම බලපාන “ග්ලයිසීමික් අගය” කියන්නෙ මොකද්ද?

  1. නිමල් වික්‍රමතිලක says:

    හොඳ පෝස්ට් එකක් .GI අගය අඩු ආහාර වර්ග ටිකක් සඳහන් කළා නම් පෝස්ටුව තවත් වටිනවා.

Leave a Reply

Your email address will not be published.